Helabima

උද්ධමනය සහ රටේ ආර්ථිකය

රසංගා ප්‍රනාන්දු


 

මේ දවස් වල ලාංකීක පුරවැසියන් විදියට අපි හැමෝම එක්තරා පීඩනයක ජීවත්
වෙනවා කියන එක රහසක් නෙවේනෙ. එතරම් යහපත් වාතාවරණයක් රට තුල
පසුගිය කාලය පුරාවටම තිබුනෙ නෑ. මේ දේවල් එක්ක ඊයෙ දවස වෙනකොට ඒ
කියන්නෙ 2022 මැයි 15 වෙනකොට ලෝකයේ ඉහලම උද්ධමනයක් සහිත රටවල්
අතරින් දෙවැනි තැනට ලංකාව පත්වෙනවා. ඒ 132% ක උද්ධමන වර්ධන වේගයක්
සහිතව. සරලවම කිව්වොත් සුඩානේ , සිරියාව , ලිබියාව , නයිජීරියාව , පවා වැනි
ආර්ථික වර්ධන වේගය අඩු දුශ්කර රටවල් වලටත් වඩා උඩ ස්ථානයක් තමයි ශ්‍රී
ලංකාවට මේ වනවිට උද්ධමන වර්ධන දර්ශකයේ හිමිවෙලා තියෙන්නෙ. ලොව ප්‍රබල
ආර්ථික විද්‍යාඥායෙකු වෙන Steve Hanke ද මෙය සනාථ කර තිබෙනවා. මේ ලිපියෙන් අද
අපි කතාබහට ලක් කරන්නෙ උද්ධමනය කියන්නෙ මොකක්ද එය අපේ ජීවිත වලට
බලාපාන්නෙ කොහොමද සහ උද්ධමනය අඩුකර ගැනීමට ගත හැකි යහපත්
ක්‍රියාමාර්ග මොනවද කියලයි.

මොකක්ද මේ උද්ධමනය කියන්නේ,,

යම්කිසි කාල පරිච්ඡේදයක් තුල රටක භාණ්ඩ හා සේවාවන් වල සමස්ථ මිල ගණන්
අඛණ්ඩව ඉහලයාම උද්ධමනය ලෙස අපට හැදින්විය හැකියි.
එනම් මුදල් වලින් මිලදී ගැනීමේ හැකියාව අඩුවීම හෝ මුදලේ අගය අඩුවීම ලෙසද
දැක්විය හැකියි.
උදාහරණයක් මගින් පැහැදිලි කරොත් යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගැනීමට
ඔබට ගිය වසරේ රුපියල් 1000ක් වැය වුනා කියලා හිතමු. මේ වසරේදී ඒ භාණ්ඩ්
ප්‍රමාණයම මිලදී ගැනීමට ඔබට 1500ක් වැයවෙනවා නම් උද්ධමන ප්‍රතිශතය 50% ක්
වෙනවා. නිශ්පාදන මිල වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස භාන්ඩ හා සේවා වල මිල ඉහල
යාම සිදුවෙනවා.
මෙහිදී දැනගත යුතු වැදගත් කාරණාවක් තමයි එක භාණ්ඩයක් හෝ සේවාවක් වැඩි
වූ පමනින් එය උද්ධමනය ලෙස අපට හැදින්විය නොහැකියි. මොකද රටේ සමස්ථ
භාණ්ඩ හා සේවාවන් වලට සාපේක්ශව තමයි උද්ධමනය මැනීම සිදුකරන්නෙ.

කොහොමද මේ උද්ධමනය ගණනය කරන්නේ?

අපි දැන් බලමු උද්ධමනය ගණනය කරන්නෙ කොහොමද කියලා. උද්ධමනය ගණනය
කිරීමට භාවිතා කරන්නෙ CPI හෙවත් පාරිභෝගික මිල දර්ශකයයි.
උද්ධමනය ගණනය කරනු ලැබීම සිදු කරන්නෙ අදාල වර්ශටේ පොදු මිල මට්ටමේ
වැඩිවීම පෙර වර්ශයේ පොදු මිල මට්ට්මේ අනුපාතයක් ලෙස දැක්වීම මගිනුයි.

උද්ධමන ප්‍රතිශතය 0 ට වඩා අඩු අගයක් ගතහොත් එය අවධමනය හෙවත් Deflation
ලෙස තමයි හදුන්වන්නෙ. ඒ වගේම මේ අගය මාසයක් වැනි කෙටි කාලයක් තුල
50%ට වඩා වැඩි වුවහොත් එය අත්‍යුද්ධමනය හෙවත් Hyperinflation ලෙස හදුන්වනු
ලබනවා. අවධමනය සහ අත්‍යූද්ධමනය කියන මේ දෙකම ආර්ථිකයට අයහපත්
විදියට බලපානවා. බැලූ බැල්මට අවධමනය හොදයි කියලා ඔබට සිතුනත්
අවධමනයකදී භාණ්ඩ හා සේවා වල මිල ගණන් අඩුවෙන නිසා නිශ්පාදකයින්ගේ
ලාභයද ඊට සාපේක්ශව අඩුවෙන නිසා භාණ්ඩ සැපයුමේ අඩුවක් ඇතිවේ. එවිට
මෙයද ආර්ථික වර්ධනය අඩාල වීමට හේතුවකි. ඒ නිසා උද්ධමනය තනි අගයකින්
යම් ප්‍රමාණයකින් අවශ්‍යයි.
සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාඥායින් පවසන පරිදි රටක උද්ධමනය 10% ට වඩා
අඩුවෙන් පැවතීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නෙ. සාමාන්‍යයෙන් වාර්ශිකව 5% ක්
හෝ ඊට වඩා අඩු මට්ටමේ පවතින උද්ධමනය ප්‍රසර්පන උද්ධමනය හෙවත් මධ්‍යස්ථ
උද්ධමනය ( Creeping Inflation ) ලෙස හදුන්වනු ලබනවා.
භාණ්ඩ හා සේවා වල මිල අසාමාන්‍ය ලෙස සාමාන්‍ය ජනතාවගේ ක්‍රය ශක්තිය
වැඩිවීමකින් තොරව වැඩිවෙනවා කියන්නෙම රුපියලේ අගය අසාමාන්‍ය ලෙස පහල
යාමයි.
ඒකියන්නෙ අපේ ක්‍රය ශක්තිය වැඩි වීමකින් තොරව කලින් අපි රුපියල් 10ට ගත්
භාණ්ඩයක් දැන් මිලදී ගැනීමේදී 20ක් වෙලානම් රුපියල අවප්‍රමානය වීමක් සිදුවී
තිබෙනවා.
ඉතින් එය පාලනය කරන්න නම් ක්‍රය ශක්තිය වැඩිවිය යුතුයි. පුද්ගලයින්ගේ වැටුප
භාණ්ඩ හා සේවාවල මිලට සාපේක්ශව වැඩිවිය යුතුයි.

මිල ඉහල යාමට බලපාන ප්‍රධාන හේතුකාරකයන් වන ඉල්ලුම වැඩිවීම හා සැපයුම
අඩුවීම යන ප්‍රධාන සාධක පදනම් කරගෙන උද්ධමනය ප්‍රධාන ආකාර 2ක් යටතේ
ඇතිවිය හැකියි.

1. ඉල්ලුමෙන් ඈදුනු උද්ධමනය (Demand pull Inflation )
2. පිරිවැයෙන් තල්ලු වූ උද්ධමනය ( Cost push Inflation)
ආර්ථිකයේ මුදල් සැපයුම වැඩිවීම හේතුවෙන් භාණ්ඩ හා සේවා වලට කරන ඉල්ලුම
වැඩිවී ඉල්ලුම වැඩිවීමට අනුරූපීව මූර්ත නිශ්පාදිතය වැඩිවන්නේ නම් උද්ධමනයක්
ඇති නොවෙයි. එහෙත් ඉල්ලුමට අනුරූපීව මූර්ත නිශ්පාදිතය වැඩිකර ගත හැකි
වන්නේ පූර්ණ සේවා නියුක්තිය දක්වා පමණි. පූර්ණ සේවා නියුක්තියට ලගාවූ පසුවත්
තවදුරටත් සමාහාර ඉල්ලුම වැඩි වන්නේ නම් මූර්ත නිශ්පාදිතය වැඩි නොවන බැවින්
භාණ්ඩ හා සේවාවන් වල මිල වැඩිවීම සිදුවේ. මෙය " ඉල්ලුමෙන් ඈදුනු උද්ධමනය"
යි.

එමෙන්ම, භාණ්ඩ හා සේවා නිශ්පාදනයේ අමුද්‍රව්‍ය පිරිවැය, යෙදවුම් පිරිවැය ඉහල
යාම තුලින් නිශ්පාදන පිරිවැය ඉහල යාම හරහා පොදු මිල මට්ටමේ ඉහල යාම "
පිරිවැයෙන් තල්ලු වූ උද්ධමනය " ලෙස හැදින්විය හැකියි.

දැන් අපි බලමු මුදල් අච්චු ගැසීම මේ උද්ධමනය වැඩිවීම කෙරෙහි බලපාන්නෙ
කොහොමද කියලා.

රජයක් මුදල් අච්චු ගැසීම මගින් ආර්ථිකයට නිකුත් කරනු කරනු ලබන මුදල්
ප්‍රමාණය වැඩි වී මුදල් සංසරණය වැඩිවෙනවා.
මුදල් සංසරණය වැඩි වූ පසු ඇතිවෙන භාණ්ඩ හා සේවා ඉල්ලුම සපුරන්නට ඊට
සාපේක්ශව භාණ්ඩ හා සේවා සැපයුම වැඩි නොවෙන නිසා උද්ධමන වර්ධනය වීම
කෙරෙහි මෙය බලපානු ලබයි. අපි කලින් පැහැදිලි කල ආකාරයට මෙය ඉල්ලුමෙන්
ඈදුනු උද්ධමනයක් ලෙස හැදින්විය හැකියි. පාලනයකින් තොරව මුදල් අච්චු ගැසීම
පාලනයකින් තොරව භාණ්ඩ හා සේවා වල මිල ඉහල ගිහින් උද්ධමනය වර්ධනය
වීමට හේතු වෙනවා. ජර්මනිය ,සිම්බාබ්වෙ, හන්ගේරියාව ,වෙනිසියුලාව වැනි රටවල්
මුදල් අච්චු ගැසීම මගින් අත්‍යුද්ධමනයක් පැවතිලා ආර්ථික අවපාත තත්වයන් ඇතිවූ
රටවල් ලෙස උදාහරණය සපයනවා.
ස්ථාවර ආදායම් ලබන්නන්ට ඔවුන්ගේ වැටුප් මීට සාපේක්ශව වැඩි නොවෙන නිසා
මෙය ඉතාම අහිතකර ලෙස බලපානු ලබනවා. එමෙන්ම කොටස වෙලදපොලේ මේ
තත්වයත් සමග ඇතිවෙන අවිනිශ්චිත තත්වයන් නිසා ආයෝජකයින් ඊට නැඹුරුවීමේ
ප්‍රවණතාවයද අඩුවෙනවා. මේ සමග ආර්ථික වර්ධන වේගය අඩාල වෙනවා. අපි
බලමු උද්ධමනය පාලනය කිරීමට රටක් විදියට ගත හැකි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග
මොනවද කියලා.

1. සමාහාර ඉල්ලුමේ වර්ධනය සීමා කිරීම.

උද්ධමනය පාලනය කිරීම සදහා සමාහාර ඉල්ලුම පහල මට්ටමක පවත්වා ගත
යුතුයි. ඒ සදහා මුදල් සැපයුම පාලනය කරගත යුතු අතර ඒ සදහා මූල්‍ය හා රාජ්‍ය
ප්‍රතිඵත්ති මනා ලෙස හැසිරවිය යුතුය.

2. සමාහාර සැපයුමේ වර්ධනය වේගවත් කිරීම.

උද්ධමනයක් පවතින් විටක නිශ්පාදනයේ වර්ධනය වේගවත් කිරීමෙන් උද්ධමන
වේගය අඩු කර ගත හැකිය. ඒ සදහා බදු අඩුකර ආයෝජන දිරිමත් කිරීමද කල
යුතුයි.

3. කාර්යක්ෂම ලෙස සම්පත් බෙදා හැරීමට ඇති බාධා ඉවත් කිරීම.

කාර්යක්ෂම ලෙස සම්පත් බෙදා හැරීමට බාධා වන අවම වැටුප් නීති , මිල පාලනය
කිරීම්. තීරු බදු, සලාක හා සහනාධාර වැනි බාධක ඉවත් කර නිශ්පාදනය කාර්‍යක්ශම
කර ගැනීමෙන් උද්ධමනය පාලනය කරගත හැකිය.

4. සෘජු රාජ්‍ය මැදිහත්වීමක් සිදු කිරීම.

රජය වෙලදපොලට මැදිහත් වී වැටුප්, මිල, ලභාංශ හා නිශ්පාදනයන් සම්බන්ධ සෘජු
පාලනයන් පැනවීමෙන් උද්ධමනය වලක්වා ගත හැකිය.
වර්තමානයේ රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නට විශාල වශයෙන් මුදල් අච්චු
ගැසීමෙන් සිදුවන්නේ තව තවත් උද්ධමනය වර්ධනය වී රට ආගාධයට යාමම
පමනයි. ඒ නිසා අනවශ්‍ය රාජ්‍ය බදවාගැනිම් හා අතිරික්ත සේවකයින් ඉවත් කිරීම
කඩිනමින් සිදුකල යුතුයි. අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හැරීම වැනි තීරන ගැනීමෙන්
යම් තරමකට හෝ මෙම තත්වය පාලනය කිරීම සිදුකල හැකියි.

රටක රජයට මෙවැනි අවස්ථාවක විශාල වගකීමක් සහ කාර්යභාරයක් තිබෙනවා.
මෙවැනි උද්ධමනකාරී වාතාවරණයක් යටතේ කල යුතු හා නොකල යුතු දේ මනාව
තේරුම් ගෙන කටයුතු කිරීම තුලින් හා විවිධ ක්ශේත්‍රයන් වල ප්‍රවීණයන්ගේ උපදෙස්
සහ සහය ලබා ගැනීම ඉතාම වැදගත්.
මේ ලිපිය තුලින් උද්ධමනය හා ඊට සබැදි කරුණුත් උද්ධමනය පාලනය කිරීම සදහා
ගතහැකි ක්‍රියාමාර්ගයන් ගැනත් අපි කරුනු විමසුමට ලක් කරා. ඉතින් සාමාන්‍ය
ජනතාව ලෙස අපටත් කුඩා හෝ කාර්‍යබාර්‍යක් මේ සම්බන්ධයෙන් සිදුකල හැකියි.
ස්වයන් ව්‍යාපාරයන් දියුණු කිරීම හා රට තුලට ඩොලර් ගෙන ඒම සදහා ව්‍යාපෘති සිදු
කිරීම කෙරෙහි විශේෂ වශයෙන් අවධානය ලබාදිය යුතුයි. ඉතින් පුරවැසියෙක් ලෙස
ඔබට හැකි පමණින් දායකත්වය ලබා දීමද වැදගත් බව මතක් කරමින් ප්‍රාර්ථනා
කරන්නේ ඉක්මනින්ම ආර්ථික, මූල්‍ය හා දේශපාලන ස්ථාවරත්වයක් රට තුල
ඇතිවෙන්නට කියලා. සංවර්ධිත රටක් ලෙස ගොඩ නැගීමට අප මාතෘ භූමියට
ඉක්මනින්ම හැකිවේවා යන්න අප සැමගේ ඒකායන ප්‍රාර්ථනාවයි.
ඉතින් තවත් මෙවෙනිම වැදගත් ලිපියෙකින් හමුවෙනකම් සුබ දවසක්....



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us