Helabima

හැමෝම හොයන සමහරු නම අහද්දිත් බයවෙන මොකක්ද මේ IMF

රසංගා ප්‍රනාන්දු


ශ්‍රී ලංකාව අද ඉන්නෙ ගොඩ ගන්න අමාරු ප්‍රපාතයක් ලග කිව්වොත් නිවැරදියි. මේ ප්‍රපාතය දිහාවට ඇදිලා යන අපේ මේ මාතෘභූමියේ දිශාව වෙනස් කරන්නෙ කොහොමද ,ගතයුතු ක්‍රියාමාර්ග මොනවද කියලා විශාල කතිකාවතක් ඇතිවෙලා තියනවා.මේ දවස් වල විවිධ පුවත්පත්, සමාජ මාධ්‍යයන් හා රෑපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍යයන් හරහා අපට නිරන්තරයෙන් අහන්නට දකින්නට ලැබෙන්නෙ එතරම් හොද පුවත් නම් නෙවෙයි. රට ණය බරින් ගිලිලා ඉන්න වෙලාවක, ලොව වැඩිම උද්ධමනයක් සහිත රටවල් අතරින් රට තුන් වෙනි ස්ථානයට පත්ව ඇති වෙලාවක මේ ගැන කරුණු නොවිමසුවොත් එය විශාල අඩුවක්. ඉතින් රටේ විදේශ සංචිත වල අසමුතුලිතතාවන් මගහැරීමටත් නැවත මූල්‍ය ස්ථාවරත්වය ඇතිකිරීමටත් IMF ගැන ගොඩක් දෙනෙක් හොයන්නට කතාකරන්නට පෙලඹිලා ඉන්නවා.
අද ලිපියෙන් අපි කරුනු විමසුමට ලක් කරන්නේ රටේ පවතින වර්තමාන තත්වයත් එක්ක කවුරුත් අතරෙ වැඩිපුරම කතාබහට ලක්වෙන මාතෘකාවක් උනු IMF International Monetary Fund හෙවත්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැනයි.
වර්තමානයේ රටේ තත්වයත් එක්ක විවිධ පාර්ශවයන් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් හා මතවාද දරනු ලබනවා ඔබට ඇසෙන්නට ඇති.ඒ වගේම කලින් IMF වලින් ණය ලබාගත් රටවල් ගැනත් නිතර කතාබහට ලක්වෙනවා. මේ දේවල් කොහොම උනත් විචක්ශනශීලී බුද්ධියෙන් යුතුව අපි මේ ගැන කරැණු විමසුමට ලක් කරමු.
අපි මුලින්ම බලමු මොකක්ද මේ IMF කියන්නෙ කියලා.
IMF කියන්නෙ ලෝකයේ රටවල් අතරින් රටවල් 190ක් එකතු වෙලා පිහිටව ගත්ත සම්මුතියක්. රටවල් දායක වෙලා පිහිටුවා ගත්ත අරමුදලක් පදනම් කරගෙන ආර්ථික වශයෙන් මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානතම කාර්ය්‍යභාර්‍යක් වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි සාමාජික රටවල් 190 සඳහා සෞභාග්‍යයමත් තිරසාර වර්ධනයක් ළඟා කර දීමට කටයුතු කරනවා. ආර්ථික අවපාත තත්වයන් වලදි මැදිහත් වෙලා ණය අවශ්‍ය රටවල් සදහා සහන පොලී අනුපාතයන්ට යටත්ව ණය ලබාදීලා මුල්‍ය ස්ථාවරත්වය රැකගැනීමට මේ අරමුදල මගින් සහය ලබා දෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එලෙස කටයුතු කරන්නේ ප්‍රධාන වශයෙන් ගෝලීය දරිද්‍රතාව අවම කර රැකියා උත්පාදනය ඇති කිරීම, ජාත්‍යන්තර වෙළඳාම දිරිගැන්වීම ,මූල්‍ය ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය යන මේ ප්‍රධාන අරමුනු තුන ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය වන මූල්‍ය ස්ථාවරත්වය සහ මූල්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කරන ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය දැක්වීමත් සමගයි.

IMF හෙවත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඔවුන්ට ආවේනික අරමුණු කිහිපයක්ම තිබෙනවා. ඒ ගැනත් අපි මේ ලිපියෙන් කරැණු විමසුමට ලක් කරමු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි සාමාජික රටවල් විසින් තමයි පාලනය කරනු ලබන්නේ.
ඉතින් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ සාමාජික රටවල් වලට තම රට ණය බරින් පීඩිත තත්වයක සිටියොත්, විදේශ විනිමය සංචිත වල අසමතුලිතතාවයක් හෝ අවපාත තත්වයක් ඇතිවුවහොත්, ගෙවුම් ශේෂ අසමතුලිතතාවයක් ඇතිවුවහොත් කියන මේ කරුණු වලදි මූල්‍ය ස්ථාවරත්වය ඇතිකරගැනීම සදහා උපදේශන සේවා වගේම ආධාර ලබාගැනීමට හැකියාව පවතිනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්‍යබාර්‍ය පුළුල් ලෙස අධ්‍යනය කරද්දි තීරණාත්මක මෙහෙයුම් හෙවත් විශේශ සාධක තුනක් හදුනාගන්න පුලුවන්. ඒ තමයි
ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම, වෙළඳ හා ආර්ථික වර්ධනය ප්‍රසාරණය කිරීම හා දිරිමත් කිරීම, රටවල් වල සමෘද්ධියට හානි කරන ප්‍රතිපත්ති අධෛර්යමත් කිරීම ඒ විශේෂ කරුනුයි.මේ කරුනු සාක්ශාත් කරගැනීම සඳහා, IMF සාමාජික රටවල් සමඟ සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ලබන බව තමයි ඔවුන් පවසන්නෙ.

අපි දැන් බලමු මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF වල ඉතිහාසය කොහොමද මේ අරමුදල ඇතිවෙන්න තුඩු දීපු හේතු මොනවද කියලා.
දෙවන ලෝක යුද්ධය නිමාවෙනවත් සමග රටවල් බොහෝමයක් දරුණු ආර්ථික පරිහානියකට පත්වුනා. ඇමරිකාව මේ අතරින් ප්‍රධානම රටක්. ඇමරිකාවෙ කොටස් වෙලදපොලේ ඇතිවුනු අසමුතුලිතතාවන් උච්චාවචනයන් නිසා රටේ ආර්ථිකයට ඒක ඉතාමත් නරක විදියට බලපෑවා. එක් ප්‍රධාන රටක් ඒ විදියට ආර්ථිකව මූල්‍ය අවපාත තත්වයකට මුහුන දෙද්දි එය ලෝකයෙ අනෙකුත් රටවල් සියල්ලටත් බලපානු ලැබුවා.
ඉතින් වර්ශ 1930 ගණන් වල ඇතිඋනු මේ තත්වයෙන් පසුව රටවල් 44ක් එකතුවෙලා නැවත මෙවැනි ආර්ථික අවපාත තත්වයක් ,බිදවැටීමක් ඇති වුවහොත් එයට මුහුන දීමට සහ අවශ්‍ය රටවල් වලට සහය ලබාදීම සදහා මේ අරමුදල
1944 පිහිටවනු ලැබූ අතර 1945 දෙසැම්බර් 27 දී ඇමරිකාවේ Bretton Woods ,New Hampshir හිදී ආරම්භ කරනු ලැබුවා .

මෙය Bretton woods සම්මුතිය ලෙස හදුන්වනු ලැබුවා.
IMF එකට කොහෙන්ද මේ අරමුදලට සල්ලි කියලා ඔයාට හිතෙනවා ඇති. Imf එකේ සාමාජික රටවල් දායකවෙන මුදල් සහ ණය ලබා දෙන රටවලින් ලැබෙන පොලි මුදල් මේ අරමුදලට එකතු වෙනවා. ඊට අමතරව විවිධ උපදේශන සහ ආයෝජනයන් මගින් ලැබෙන ආදායමත් මේ අරමුදලට එකතු වෙනවා.
මුලින් සදහන් කල මූලික අරමුණු තුනට අමතරව IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනෙකුත් අරමුණු මොනවද කියලා කිහිපයක් අපි සොයා බැලුවොත්,

1.ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව.
2. හුවමාරු ස්ථාවරත්වය නිදහස් වෙලදාම සහතික කිරීම.
3. වෙළඳාමේ සමතුලිත වර්ධනය.
4.මූල්‍ය විනය.
5. බහුපාර්ශ්වික වෙළඳාම සහ ගෙවීම්
6. සමතුලිත සංවර්ධනය.
7. ශ්‍රමය සූරාකෑම වැලැක්වීම.
8. ප්‍රාග්ධන ආයෝජන ප්‍රවර්ධනය කිරීම.
9.කාන්තා සේවා නියුක්තිය .
වගේ අරමුණු අපිට දැනගන්නට පුලුවන්. මේ ඇත්තටම ඉතාමත් යහපත් අරමුණු. නමුත් එක් එක් රටවල් වල ව්‍යුහයන්ට අනුකූලව එය බලපානු ලබන ආකාරය වෙනස් වෙනවා.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අස්ථාවර තත්වයත් එක්ක විදේශ සංචිත හිගතාවයක් පෙන්නුම් කරනවා. ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2ත් 3ත් අතර පවතින් මේ විදේශ් සංචිත ප්‍රමාණය රටේ දෛනික වියදම් ප්‍රමාණය පියවා ගැනීමටවත් සමත් වෙන්නෙ නෑ.
කොරෝනා තත්වයත් සමග විදේශ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීම අඩුවීමත් සමග තත්වය තවත් දරුණු වූ බව අපිට රහසක් නෙවෙයිනෙ. ඉතින් මේ තත්වයන් සමහ තමයි IMF එක තුලින් ණය ගැනීම ගැන සලකා බැලීමට ලක්වෙන්නෙ. ශ්‍රී ලංකාවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ සාමාජිකත්වය දරන රටක් නිසා ඒ මගින් ණය ලබාගැනීමට හැකියාවක් පවතිනවා.

ඉතින් IMF එකෙන් අපි ණය ලබාගත්තොත් අපිට පුලුවන් වෙනවා ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් වලින් වැඩි කරගන්නත් ඒ ඔස්සේ රටේ අවශ්‍යතා සදහා ඒ මුදල් යොදාගැනීමටත්. එහෙමත් නැත්නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකියාවක් පවතිනවා. ඒ කියන්නෙ ලංකාවට දැනට විදේශ රටවල් වලට ගෙවන්නට තියන ණය IMF එක මගින් ගෙවන්නට හදාගන්න පුලුවන්. එතකොට රටේ දැනට පවතින විදේශ සංචිත රට තුලම ඉතුරු වෙනවා.මෙවැනි ක්‍රියාමාර්ගයන් මගින් රටේ පවතින ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට හැකිබවට විවිධ ආර්ථික විශේෂඥයින් මත පලකරනවා.

හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙ ලෝකයේ අන්තර්ජාතික වශයෙන් පිලිගත් ආයතනයක් නිසා ඒ මගින් ණය ලබාදුන්නාට පසුව රජයට හෝ විවිධ පාලන තන්ත්‍රවලට අවශ්‍ය ලෙස ඒ මුදල් අයතා ලෙස භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. නිරන්තරයෙන් IMF විමර්ශනයන්ට ලක්වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ අරමුනු සාක්ශාත් කරගැනීමට අදාල කොන්දේසි වලට ඒ අදාල ණය ලබාගනු ලබන රට යටත් වෙනවා.

කලින් ණය ලබාගත් රටවලට පනවනු ලැබූ කොන්දේසි සමග උපකල්පනය කලොත් IMF මගින් පනවනු ලබන කොන්දේසි වල හොද මෙන්ම අපේ රටට නොගැලපෙන අයහපත් ප්‍රතිපත්තිද ඇතුලත් වෙනවා. රටේ පාලකයින් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකතුවී කරන සාකච්ඡා තත්වයන් වල ප්‍රතිඵල ලෙස මේ කොන්දේසි සකස් වෙනවා.
සැකෙවින් ඒ කොන්දේසි මොනවද කියලා කියන්න බැරි උනත් අපි උපකල්පනය කරොත් මෙන්න මේ වගෙ කොන්දේසි වලට අපි යටත් විය හැකියි. ඒ තමයි,

• පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම.
• රාජ්‍ය සේවයට කරනු ලබන අනවශ්‍ය බදවා ගැනීම් නැවැත්වීම.
• විදේශ විනිමය අනුපාතය පා කිරීම.
• සහන වැඩසටහන් නැවැත්වීම.
• ආනයන අපනයන් සීමා ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම.

වගේ කොන්දේසි හදුන්වන්න පුලුවන්.
ඉතින් බැලූ බැල්මටම ඔබට තේරෙනවනෙ මේ කොන්දේසි වල හොද වගේම අයහපත් පැතිකඩකුත් තියනවා.
පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීම හා අනවශ්‍ය සේවක බදවා ගැනීම් නැවැත්වීම වගේ කොන්දේසි වලින් නම් ඇත්තටම යහපත් ප්‍රතිඵල අපේක්ශා කල හැකියි.
හැබැයි විදේශ විනිමය අනුපාතය පා කිරීම හා ආනයන අපනයන සීමා ඉවත් කිරීම වගේ කොන්දේසි එතරම් හොද ප්‍රතිඵල ගෙනදෙයි කියලා අපිට කොහෙත්ම අපේක්ශා කල නොහැකියි.
ඉතින් ඒ ඒ රටේ ව්‍යුහයන්ට අනුව මේ කොන්දේසි රටකට බලපාන්නෙ යහපත් විදියටද අයහපත් විදියටද යන්න තීරණය වෙනවා. ඒ වගේම IMF ණය සහ ආධාර ලබාගෙන ආර්ථික අවපාතයෙන් මිදුනු රටවල් ලෙස ඉන්දියාව, ග්‍රීසිය, තායිලන්තය වගේ රටවල් ද තත්වය අයහපත් ලෙස බලපෑ රටවල් ලෙස ආර්ජන්ටිනාව වැනි රටවල්ද දක්වන්න පුලුවන්.
ඉතින් ශ්‍රී ලංකාව IMF සමග ණය ගැනීමට හෝ ප්‍රතිව්‍යුහගත කිරීමකට ගියහොත් එය කෙසේ අප රටට බලපායිද කියලා අපිට නිශ්චිතවම අනුමාන කල නොහැකියි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යාමේදී අදාල ණය දෙනු ලැබූ රටත් එයට එකගත්වය පළකර තිබීම අනිවාර්ය සාධකයක්.
උදාහරණයක් ලෙස අප රට චීනයෙන් ලබාගත් ණය මුදල් පියවීමට ප්‍රතිව්‍යුහගත කිරීමකට යාමේදී චීනයද අනිවාර්යයෙන් එකගත්වය ඵල කල යුතුයි.

යම්කිසි රටක් ණය ලබාගත් පසු එය ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක්කිරීමට අදාල ණය ලබාගත් රට කැමතියි නම් එයට ණය දෙනු ලැබූ රටද එකගත්වය ඵලකිරීම අනිවාර්යයෙන් සිදිවිය යුතු සාධකයක්.
නමුත් රටක් විදියට මේ පවතින ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට විදේශ සංචිත ප්‍රමාණයේ වැඩිවීමක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. රටේ පාලකයන්ට මේ සදහා විශාල භාරදූර වගකීමක් තිබෙනවා. විශේෂයෙන්ම IMF මගින් ප්‍රකාශ කරලා තියනවා ඔවුන් ණය සහ ආධාර ලබාදෙන්නට එකගවන්නෙ දේශපාලනික ස්ථාවරත්වයක් ඇති රටවල් වලට කියලා. එහෙම බැලුවොත් ලංකාවෙ අද වෙනකොට කෙමෙන් කෙමෙක් දේශපාලනික ස්ථාවරත්වය නැති වී ගෙන යන එක IMF සමග එකතුවී කරනු ලබන වැඩ කටයුතු සදහා සෘජුවම බලපානවා.

ඒ නිසා තමන්ගෙ මඩිය තරකරගන්න අදහස් දැන්වත් පැත්තකින් තියලා එකාවන්ව එක්වෙලා මේ ප්‍රශ්නෙ විසදන්න දේශපාලනිකයින්ගෙ විශාල වගකීමක් තියනවා. විදේශ සංචිත වැඩිකිරීමෙහිලා පොඩි හෝ දායකත්වයක් රට වෙනුවෙන් දෙන්න පුලුවන් නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නත් ඔබ පසුබට වෙන්න එපා. ඒ වගේම රටේ ඉදිරි අනාගතයේදී මුල් පුටු වල ඉදගත යුත්තේ ඉදිරියට පැමිනිය යුත්තේ තරුණ ඔබයි. දේශපාලන ගැන ඉගනගෙන රටේ මුල් පුටුවලට පැමිණ මේ අපි හැමෝම ඉල්ලන ඒ System change එක කරන්න පුලුවන් තරුණ ඔබටමයි. අපිටමයි. ඉතින් ඒ සදහාත් ඉදිරිපත් වෙන්න කියලා ඔබට මතක් කරනවා.

රට තුලට ඩොලර් ගේන්න දායකවෙන්න නිර්මාණශීලී ඔබටත් පුංචි දෙයක් හෝ කලහැකිව තිබිය හැකියි. ඒ නිසා මේ මොහොතෙ ඔබෙන් රටට වියයුතු වගකීමක් ලෙස සලකා ඒ සදහාත් ක්‍රියාමාර්ගයන් වලට යොමුවෙන්නට පුලුවන් නම් වටිනවා.
ඉතින් දේවල් කොහොම මොන විදියට වෙනස් වුනත් අපේ මේ පුංචි රටේ ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය ඉක්මනින් ඇතිවෙන්න කියලත්, සශ්‍රීකත්වය ඇතිවෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරමු.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us