Helabima

ප්‍රසන්නගේ හිරේ යෑම

මෙවන් රිටිගල


 

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංගට පසුගිය සදුදා (6) කොළඹ මහාධිකරණයෙන් අත් හිටවූ සිර දඬුවම් හිමිවිය. ඒ යහපාලන ආණ්ඩුව සමයේ පැවරූ නඩුවක තීන්දුවට අනුවය. මහාධිකරණය හමුවේ ඇමතිවරයාට චෝදනා 15 ක් යටතේ නඩු පවරා තිබූ අතර ඉන් 14 කින් ම ඔහු නිදොස් කොට නිදහස් කෙරිණ. ඇමතිවරයා වරදකරු වූයේ 13 චෝදනාවට පමණි.

සඳුදා සවස තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට මහින්දානන්ද, නිමල් ලාන්සා, නලින් ප්‍රනාන්දු, සහන් ප්‍රදීප් වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පැමිණ සිටියහ. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධිකරණයෙන් පිටතට පැමිණි ප්‍රසන්නට මුල්ම ඇමතුම ලැබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙනි. නඩු තීන්දුව පැහැදිලි කළ ප්‍රසන්න තමන් එදින කැබිනට් රැස්වීමට සහභාගි නොවන බව කීවේය.

"සර් මම තාම ඇපීල් කළේ නෑ.. ඇපීල් කරනකන් මම කැබිනට් රැස්වීමට එන එක සදාචාර සම්පන්න නෑ. ඒ නිසා අද කැබිනට් රැස්වීමට මම එන්නෙ නෑ .." ප්‍රසන්න කීවේය.

"ඔව් ඒක හොඳයි ප්‍රසන්න" ජනාධිපතිවරයා උත්තර දුන්නේය.

මේ අතර ප්‍රසන්නගේ තීන්දුව පිළිබඳව රට තුළ විවිධ අර්ථකථන මතු කරන්නට විපක්ෂය කටයුතු කරමින් තිබිණි. ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් කීවේ ප්‍රසන්න ඇමති ධුරයෙන් ඉවත් කළ යුතු බවය. පැෆරල් සංවිධානයත් මාර්තු 12 ව්‍යාපාරයත් වෙනුවෙන් රෝහණ හෙට්ටිආරච්චි ද මේ බව ප්‍රකාශ කර තිබිණි.

මෙය දැනගත් ප්‍රසන්න ද මේ පිළිබඳව නීතිමය තත්ත්වය පැහැදිලි කර ගන්නට කටයුතු කළේය. ඇමතිවරයාට හිතවත් නීතීඥ වේදියෙකු මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ද විමසුවේය. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කීවේ නඩු තීන්දුව හේතුවෙන් ‍ප්‍රසන්නගේ මන්ත්‍රීධූරය අහෝසි නොවන බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) වගන්තිය අනුව මාස 6ක කාලයක් බන්ධනාගාර ගත වූවොත් පමණක් මන්ත්‍රීධුරය අහෝසි වන බව මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලි කළේය.

කැබිනට් රැස්වීමට සහභාගි නොවුණ ද ප්‍රසන්න එදින (6) සවස ජනාධිපති මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වූයේය. රැස්වීමට ගිය ප්‍රසන්න වටකරගත් මන්ත්‍රීවරු නඩු තීන්දුව ගැන ඇසුවේය. ප්‍රසන්න කීවේ නඩු තීන්දුවට එරෙහිව පසුදින අභියාචනයක් ඉදිරිපත් කරන බවය. ව්‍යාපාරයක් සම්බන්ධයෙන් තම බිරිඳට ලැබිය යුතු මුදලක් ලබා ගැනීම සඳහා ස්වාමිපුරුෂයා ලෙස මැදිහත්වීම පමණක් තමන් සිදුකළ බව මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළ ප්‍රසන්න ව්‍යාපාරිකයාගෙන් කප්පමක් ගත් බවට නැගෙන චෝදනා වැරදි බව ද කීවේය. මේ වන විට තවදුරටත් අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බැවින් තමන් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුනොකරන බවද කීවේය.

පසුදින උදෑසනම පාර්ලිමේන්තුවට පැමිණි ප්‍රසන්න සභානායක දිනේෂ් හා අගමැති රනිල් හමුවූයේය. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ද පිටපත් ද සහිතවය. ඒ සමඟ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න ද වූයේය. ප්‍රසන්නට එරෙහි නඩු තීන්දුවෙන් පසු මන්ත්‍රී ධුරය දැරීම සම්බන්ධ නීතිමය තත්වය සාකච්ඡා කරන අතරතුර ප්‍රසන්න කීවේ තමන් මේ වන විටත් අභියාචනය මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමුකර ඇති බවයි. එය භාර ගන්නා තුරු තමන් සභා ගර්භයට නොපැමිණෙන බව ප්‍රසන්න සභානායකවරයාත්, අගමැතිවරයාත් දැනුවත් කළේය.

සභාව ආරම්භයට විනාඩි කිහිපයකට පෙර ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ලැබුණේ ඔහුගේ නීතිවේදියාගෙනි. ඉන් කියවුණේ ඇමතිවරයාගේ අභියාචනය අභියාචනාධිකරණයට යොමු කිරීම සඳහා භාරදුන් බව‍ය. සභාගර්බයට ගිය ප්‍රසන්නගෙන් සභා නායක දිනේෂ් ඇසුවේ "හරිද" කියායි. "හරි සර්" ප්‍රසන්න උත්තර දුන්නේ ය. 

මේ අතර ප්‍රසන්න අභියාචනයක් ඉදිරිපත් කළ බව නොදැන සිටී සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේ පාර්ලිමේන්තුවට පිටස්තරයෙකු පැමිණ ඇති බවය. ඔහු පිටස්තර යැයි කීවේ ප්‍රසන්නටය. ඊට අගමැති රනිල් උත්තර දුන්නේ සුපුරුදු ක්‍රිකට් කතාවකිනි.

"අපි දන්නවා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩයෙක් ඉන්නවා ඩබ්.ඩි.ජේස් කියලා. එතුමා ගියපු එක ක්‍රිකට් මැච් එකකට පිත්ත අරගෙන බැට් කරන අවස්ථාවක දි බෝලෙ ඇවිල්ලා වැදිලා ස්ට්‍රම්ප් ගැලවිලා බිමට වැටුණා. එතකොට එතුමා බිමට නැමිලා ඒ ස්ට්‍රම්ප් තුන අර‍ගෙන ආයේ ඒක විකට් එකට දැම්මා. එතකොට අම්පයර් කිව්වා නෝ නෝ යු ආර් අවුට් කියලා. එතකොට ඩබ්.ඩි.ජේස් කිව්වා යු ෆුල්. දෙ කේම් ටු සි මි දැට් නොට් ටු සි අම්පයර්."

රනිල් මේ නොකියා කීවේ චමින්ද මෝඩයෙකු බවය.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us